Saturday, April 8, 2017

ඔහු සහ ඇය



ඔහු-
සිතක් සනසන වතක් දුටුවම කෙලෙස ඉන්න ද ඉවසලා
විතක් උතුරන සඳක් වාගෙයි සිනා මල් පෙති විසිරිලා
ලොවක් සනසන මලක් වාගේ ලඟින් මගෙ සිටිතැයි බලා
වරක් නම් නොව දෙවරක්ම මම නුඹෙ ලොවට එබිකම් කලා

ඇය-
වහසි බස් නොව අහස තරමට නුඹ ගැනම පෙරුමන් පුරා
සැරසි සැරසී මඟම බැළුවා අද විදී දැයි මල් සරා
සැනසි සැනසී දෙනෙත් අබියස නුඹම මැවුවා සිත් අරා
වෙහෙසි වෙහෙසී සඳරකට මා දිනක් සෙවුවා නිදි වරා

ඔහු-
ඔබේ පියමන් ලකුනු සොයමින් දෑස් දිවුවා යන මඟේ
ගමනෙ අංතය කොතැන වේවිද එතැන නැවතුනි සිත මගේ
හැඟුනි නිරතුරු මුවැත්තියෙ නුඹ මගේ මුළු ලෝකය වගේ
සුවඳ විහිදන මලක් අබිමුව සිතම සසැලී ගිය රඟේ

ඇය-
සිතින් මගෙ ලොව තුලම වී නම් එපා යන්නට සැඟවිලා
දුරින් දුරකට නුඹ ගියොත් නම් සිතම යයි මගෙ සසැලිලා
විලෙන් ඉපදුන මහනෙලයි මම නුඹෙ නමට හසරැලි සලා
ඉඳින් නුඹෙ ලොව සරසවන්නම් දිවි තියෙන තුරු ලං වෙලා

ඔහු-
පෙරුම් පුරනා කාලයේදී දෙඩුව නම් වදනක් දෙකක්
නොයන බව නම් සැබෑවකි මම රුවැත්තියෙ මෙපමන දුරක්
මගේ ලොව තුළ හෙටක් වෙනුවෙන් පායලා අඳුරට සඳක්
අනේ යුවතියෙ මෙමා හට ඇත විවර වී පැලකින් දොරක්

Thursday, March 30, 2017

විශාකාවන් නුඹය



ප්‍රේමයේ හැඟුම් මල් අතු පුරා පිබිදෙන්න
උත්පලාවිය මගේ  තව ටිකක් හිනහෙන්න
.
හිමියනේ නුරා ගිනි මොහොතකට බිඳලන්න‍
මට හැකිය අඳුරු ලොවකට මගේ  නෙත් දෙන්න
.
මලේ සුසිනිඳු පහස ළැබූ නුඹේ අත් පුරා
නොනැවතී හැකිය මට සිප ගන්න සිත් අරා
.
රාගයේ ගිනි කුමට මොහොතකට ඇහැරලා
සිනාසෙමි ඇඟිලි තුඩු බිඳී ගිය ඔහු සොයා
.
නුඹ තරම් ප්‍රේමයේ අකුරු දන්නා ලඳක්
විශාකාවන් නුඹය වෙනු මැනවි මට මවක්
.
බිඳී ගිය සිත් වලට වෙන්න අපි පැන් පොදක්
නුඹ ඉන්න මා ලඟින් දිදී පිය සෙනෙහසක්

Monday, March 20, 2017

අප්පච්චී



වීත රාගි සිතක සොඳුරු
සෙනේහයේ කිරන දෙවපු
අප්පච්චී මගේ ලොවට ඉර මඬලක් නම්
ඒ එලියෙන් පාට වැටුනු
අඳුරු ලොවම කරන එකලු
නුඹෙ සවියෙන් ලොවම දිනපු තරු කැටයක් මං

බොලඳ සිතින් වදන් හැලුනු
නුඹේ ලඟම නිති ගැවසුනු
පුංචි දෝනි කුමාරියක් වූ දවසෙදි නම්
සිඟිති වදන් වෙලා කුරිරු
නුඹෙ තුරුලෙන් ඈතට වුනු
මං වෙනුවෙන් ඉවසුව හැටි මහ පවුරක් මෙන්

විසුල රුකෙක සිහිල සදපු
මිනි පහනක් සේ දැල් වුනු
නුඹ තරමට සෙනෙහෙ පුරන සාගරයක් වන්
ආදරයක මහිම හැඟුනු
නුඹ වාගෙම කඳුල දැනුනු
කුමරෙකු හදවත පැතුවොත් අත දෙන්නම් මං

Friday, November 18, 2016

මනා-ලියකගේ සිතුවිලි



නුඹේ දෑඟිලි අතර සිර කොට සිප වැලඳ තුරුලට අරන්
නුඹේ කියලද කියන්නේ මම වීඩියෝ තැටිගත කරන්
වියපත්ව නරඹනා කලකදි අපේ දරුවන් වට කරන්
ඉතිරි වේවිද ඔව්න් අබියස ගෞරවය අපෙ රත්තරන්

මගුල් පෝරුව මතට නැගිලා ගයන දා අපි මගුල් ගී
පාට තවරනු එපා මට නම් පිනවන්න සිත් සරාගී
දෑස් රතු වුන බමන මත් ඇති මුවින් කුමට ද පැතුම් ගී
නුඹට පමනකි රුසිරු මාගේ සෙනේහ‍ය එයි සිත නැගී

මලින් ඉපදුන කුමරියයි මම නුඹෙ නමින් පින්වත්
කිලිටි කරනට අවැසි නෑ මට ස්වේත සළු සිල්වත්
නුඹට පමනක් වැටහුනොත් ඇති පතිනි දම පෙම්වත්
ලොවක් ඉදිරියෙ කිසි දිනෙක මා නොකල මැන නිරුවත්

සුයිටි ඩාලින් මගේ වස්තුව බබා යන යෙදිලී
අපේ පැටවුන් තුරුල්ලට ගෙන කියමු අපි නොසැලී
නුඹේ ලෝකෙට දෙවැනි මව් වුන ලඟින් හිඳ නොවෙලී
අම්මෙ කියලා කියාපන් මට සිතම යයි සසැලී...