Thursday, May 25, 2017

කාලිදාසයාණනී



උදෑසන සිටම මන්දාරම් වූ අහස දෙස ඇය ඕනෑකමින් බලා උන්නාය. කාලිදාසයන් අතින් මේඝදූතය ලියැ වුනු
තැන් සිට ඈ අහස දෙසත් වැහි වළාකුලු දෙසත් මහත් ඕනෑකමින් බලා හුන්නේ සිය පෙම්වතා තමන් වෙනුවෙන්
රජමාලිගාව දෙසින් සෙනෙහස කැටි වුනු ඔහුගේ වේදනාව මුසු වුනු, ඇය පිලිබඳව නොවෙනස්ව සිත්හි පවතින්නා
වූ ප්‍රේම හැඟුම් පිලිබඳ තවත් කිසිවක් ඇය වෙත දූතයෙකු අත්හි එවාවිද යන පැතුමිනි.

.
කාලිදාසයානන් යක්ෂයෙකු වේනම් ඒ යක්ෂයාට ප්‍රේම කරන්නා වූ යකින්නිය ඇයමය. යක් කුවේරයා නම්
රජ්ජුරුවන් වහන්සේමය. රජු වෙනුවෙන් කල යුතු සේවයන් මඟ හැර ඇය සමඟ ආලයෙන් බැඳී තමන්ගේම
ලෝකයක ප්‍රේම මාලිගා තනා ගැනීමට තරම් ඔහුට විවේකයක් නැති වග ඇය දන්නීය. නමුත් ඇය තවමත්
නොවෙනස්ව හදවතින්ම ඔහු වෙනුවෙන්ම බලා සිටින්නේ සිය තුරුනු විය කෙමෙන් ගෙවී යන වගකුදු නොදන්නා
කාලය පිලිබඳව තැකීමක් නොකරන්නා තැනැත්තියක සේය. මේඝදූතය ඔහු ලියන්නට ඇත්තේ තමන්
වෙනුවෙන්මයැයි ඇය සියදහස්වර සිතමින් තුටු වන්නීය.

.

නැවතත් අහස දෙස බැලූ ඇය සුසුම් හෙලන්නට වූවාය. පොසොන් මහට ඇද හැලෙන දිව යන වැසි පොද ඇගේ
වේදනාබරිත සිත මදකට සිහිල් කරවමින් ඇගේ සළුපිලි යාන්තමින් තෙමාලන්නට විය. සිහිල් වැසි පොදේ මදක්
සනහාලුනු ඇයට අපූරු අදහසක් පහල
වූවාය.

.

 “එක තැනෙක නොරැඳී දිවෙන සිහින් වර්ෂාව? ඔතරම් තදියම කිමෙක්ද? මා හට මේ මේඝය දූතයෙකු වූවා නම්
මගේ පෙම්වතාට මා පිලිබඳව තතු රැගෙන යන්නට නුඹට නොහැකි මන්ද?

.

සෙමෙන් ඇද හැලෙන වැහි පොද ඇගේ ආයාචනයට සවන් දුන්නාසේ මදකට ඈ වටා රොක් වුනාහ. ඇය සිය
ආයාචනය පිලිගත් පොසොන් වර්ෂාව නැමති සිය දූතයාණන්  ආමන්ත්‍රණය කොට සිය සිතුවිලි මුදා හරිමින්
සිය පෙම්වතා පිලිබඳ තොරතුරු  තමන් වෙත ගෙන එන ලෙස ඒ සිහින් වර්ෂාවෙන් අයැදුයේ මෙසේය.

.

ඇදී යන මේ පොසොන් වැස්සේ කියන්නම් කරුනක්
සිටී ඔහු මට වඩා ඈතින් දුරක ගවුගණනක්
ඇදී යනවද හෙමින් සීරුවෙ වෙලා සෙත් කවියක්
අනේ වැස්සේ මටත් වෙනවද පුංචි හවුහරනක්?

.

පුංචි ඇස් දෙක හරි අහිංසක සා පොවෙකු වාගෙයි
හඳුන ගන්නට හැකිය හදවත වෙඬරු පිඩ වාගෙයි
පිරිමි සිත තුළ නැගුනු කඳුළැලි කොතරම් ද නොහැඟෙයි
ලොවට කවිකම් සිතුම් රස දෙන කුමරු ඔහු මාගෙයි

.

යොමා නෙත් යුග මවනවා ඇති වර්න නෙක රුසිරූ
අඳිනවා ඇති සිත් බඳින ලෙස නෙකයුරින් අකුරූ
හෙමින් ලං වී නොකර කරදර සිතම කර මියුරූ
අරන් එනවද ඔහුගෙ දහදිය සුවඳ ගත තැවරූ

.

නොදැනෙන්න මට කඳුළු ඉවසා සෙනෙහෙ මල් ඇතිරූ
සුවඳ තවරා සිත් පුරාවට වර්ණ ඇඳි සිතරූ
මගේ සුසුමන් පා කරන්නට සිනාකැන් වැපිරූ
හඳුන ගනු මැන සොඳුරු මිනිසා ඔහුයි මට මිතුරූ

.

නොදැනෙනා ලෙස ලං වෙන්න වෙයි කැලඹේවි සිත
සිනහවෙන් මුව පිරී ඇත් නම් මැල වේවි වත
සබඳ සකි සඳ නුඹේ සිසිලස දුක් ගෙනෙනු ඇත
අනේ විගසින් සුවඳ අර ගෙන එනවදෝ මවෙත???
.
.
.
ප-ලි
හුදෙක් මාගේ පරිකල්පනයක්ම පමනි

5 comments:

  1. හොඳින් ඇසුවෙමි නුඹේ පෙම්බර ඔහුගෙ රුවගුණ සත්සිතින්
    හදින් හික්මුණු ඔහුව ලැබුමට නුඹත් පින්කර ඇත ඉතින්
    සැනින් යමි මම ඔහු න්බලන්නට නුඹගෙ පණිවිඩ මල් මතින්
    ඉතින් ඉවසනු යළිත් එනතුරු කඳුළු පිසගනු ඔය නෙතින්....
    -----වැස්ස-----

    ලස්සනයි මේ නිර්මාණය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies

    1. සැනින් යමි මම ඔහු බලන්නට නුඹගෙ පණිවිඩ මල් මතින්

      Delete
    2. සතර අතකට දිවෙන සිතුවිලි සිත පෙලයි මගෙ හරි දඟින්
      ඉවස ගන්නට නොහැක කඳුළැලි වැසි වැටෙයි මගෙ නෙත් අගින්
      හමු වුනා නම් කුමරු කලිදස් වැසි රජුනි අහසට නගින්
      කියා දෙන්නට ඔහුගෙ වතගොත පාත් වෙනු මැන මා ලඟින්

      බොහොම ස්තුතියි දුමී...
      කවි පිලිතුරට වගේම අගය කරමින් දෙන දිරිගැන්වීමට...

      ජයවේවා!!!

      Delete
  2. හරිම ලස්සනයි ඉෂානි. ඇත්තටම පංකාදුයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටකාරියේ...
      ගොඩ කාලෙකින් මේ පැත්තෙ ගොඩ වුනේ...
      මේ සෙවනට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා...

      ජයවේවා!!!

      Delete

ඔබේ අදහසට ඉඩක්